HIV ආසාදිතයින් ඉහළට – වැඩිම පිරිස තරුණයින්

HIV ආසාදිතයින් ඉහළට – වැඩිම පිරිස තරුණයින්

මෙම වසරේ එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසනවා.

පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ පමණක් ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම ආසාදිතයන් 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර ඉන් 08 දෙනෙක් කාන්තාවන් වනවා.

එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනුකුලව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන, සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව 2030 වසර වන විට ඒඩ්ස් අවසන් කිරීමට ප්‍රකාශ කර ඇති බවත් එම ඉලක්ක සපුරා ගැනීමට එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයන් 95% ක් හදුනාගෙන ඔවුන්ගෙන් 95% කට ප්‍රතිකාර ආරම්භ කල යුතු බවත් එම වැඩසටහන පෙන්වා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

නොමිලේ ප්‍රතිකාර ලබාදීමට හා උපදේශන සේවාවන් සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක වන අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර තිබෙනවා.

විනාඩි 20 ක කාලයක් තුලදී එච්.අයි.වී ප්‍රතිඵල ලබා ගත හැකි ක්ෂණික පරීක්ෂණ හෙවත් රැපිඩ් පරීක්ෂණ සිදුකර ගත හැකි ස්වයං පරීක්ෂණ සදහා අවශ්‍ය උපකරණ නොමිලේ ලබාගත හැකි බවත් අවශ්‍ය අයෙකුට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය ඇමතීමෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ද අදාල උපකරණ ඇණවුම් කිරීමට හැකියාව පවතින බවද එම ඒකකය වැඩි දුරටත් සඳහන් කළා.