අයවැය අවසන් ඡන්ද විමසීම අද සවස

ලබන වසර සඳහා වන අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිත යි.
කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය
අද මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිපත්ති මෙන්ම ආයෝජන ප්‍රවර්ධන යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ මෙහිදී විවාදයට ගැනීමට නියමිත යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මස 14 වනදා ඉදිරිපත් කළ අයවැය දෙවන වර කියවීම දින හතක් විවාදයට ලක් කෙරුණා.
අනතුරුව පසුගිය 22 වැනිදා පැවති අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 121ක් සහ විපක්ෂව ඡන්ද 84ක් හිමි වුණා.
එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබුණත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙන්ම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා හමු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.සෙනෙවිරත්න මෙන්ම එම කණ්ඩායම නියෝජනය කරන බවට වාර්තා පළ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න ද ඊට පක්ෂ ව ඡන්දය භාවිත කළා.
සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ඡන්දය භාවිත කළේ ඊට විරුද්ධව යි.
දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා.
අනතුරු ව පසුගිය 23 වැනිදා සිට අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරුණු අතර, අද දිනයේ දී ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත යි.

