නිළමේලාට තවත් ජයක් – චාමිකට සැත්කමක්

නිළමේලාට තවත් ජයක් – චාමිකට සැත්කමක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ ජය හිමිකර ගැනීමට වනිඳු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ (07) සමත් විය.

ඒ, කඩුළු 5කින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුළු 8ක් දැවී ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් මූවින් සුබාසිංහ ලකුණු 40ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් කාලෝස් බ්‍රැත්වේට් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 15කදී කඩුළු 5ක් දැවී ලකුණු 123ක් රැස්කරගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් කමින්දු මෙන්ඩිස් ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

පැතුම් නිශ්ශංක ලකුණු 22යි.

ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් ලකුණු 20යි.

පන්දු යැවීමේදී ගෝල් කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව වනිඳුගේ නායකත්වයෙන් යුත් කැන්ඩි කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගැනීමට සමත් විය.

මේ අතර එම තරඟයේදී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට සැත්කමට ලක්කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

එසේම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවය.

අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැත්වූ තරගය අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී චාමික අනතුරට ලක්විය.

COMMENTS