චින්තන විප්ලවයක් ඇති කළ අපේ සෝම සමිඳුන් දැයෙන් සමුගෙන අදට වසර 19ක්

චින්තන විප්ලවයක් ඇති කළ අපේ සෝම සමිඳුන් දැයෙන් සමුගෙන අදට වසර 19ක්

සෝම හාමුදුරුවෝ අපවත් වෙලා අදට, ඒ කියන්නේ දෙසැම්බර් 12 වැනි දිනට අවුරුදු 19ක් පිරෙනවා. ලංකාවේ මෑතකාලීන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයාණන් වහන්සේ විදිහට ගංගොඩවිල සෝම හාමුදුරුවෝ සදානුස්මරණීය වෙනවා. ඒත් වර්තමාන පරම්පරාවට නම් සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් අහන්න අවස්ථාවක් ලැබිලා තියෙනවාද කියන එක ගැන නම් සැකයක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක ඇතිවුණු ජනතා රැල්ල තුළින් පාර්ලිමේන්තු ගිය ඇතැම් අයට පවා උන්වහන්සේව මතක ද කියන ප්‍රශ්නය අපිට තියනවා.

ඒක නිසා “My newslanka” අපි හිතුවා සෝම හාමුදුරුවන් ගැන කෙටි සටහනක් තබන්න මතක අමතක හැමෝටම දැන ගන්න.

කොළඹ නගර සභාවේ සේවයේ නියුතු වීරතුංග ආරච්චිගේ දොන් ධර්මදාස නම් පියාටත් හෙට්ටිගේ දොන් චාලට් නම් මවටත් දාව 1948 වසරේ අප්‍රේල් මස 24 වනදා නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ උපත ලබන වීරතුංග ආරච්චිගේ දොන් සෝමරත්න සහෝදර සහෝදරියන් පස් දෙනෙක්ගෙන් යුත් පවුලක වැඩිමලා විය.

කුඩා කල සිට බුදු දහම ඉගෙන ගැනීමට මහත් ලැදියාවක් දැක්වූ කුඩා සෝමරත්න ගංගොඩවිල සුභද්‍රාරාමයේ ශ්‍රී රේවත දහම් පාසලෙන් දහම් අධ්‍යාපනයට අත්පොත් තබනවා. පසුව ඔහුගේ පවුල මිරිහානේ ස්ථිර පදිංචිය පැමිණි අතර මිරිහානේ ශ්‍රී රෝහණ දහම් පාසලට ඇතුල් වෙනවා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සෝමරත්න සිසුවා විෂය පොතපතට වඩා බුදු දහම පිළිබඳව ලියැවුණු පොත් කියවීමට වඩා උනන්දුවක් දක්වනවා.

දහම් අධ්‍යාපනය සඳහා පසුව බම්බලපිටියේ වජිරාරාමයට ඇතුල් වන සෝමරත්න එහිදී කෙතරම් වුවමනාවෙන් ධර්මය ඉගන ගත්තේද යන්න කියනවානම් 8 වැනි ශ්‍රේණියේදී ඔහුට දහම් පාසලේ පන්තියක් භාරදී එහි ඉගැන්වීම් කටයුතු පැවරීමට එහි වැඩ සිටි නුවර එළියේ විමලතිස්ස හිමියන් කටයුතු කරනවා. එම අවධියේදී ඔහු තිස්ස බෝසත් ශිෂ්‍ය සම්මේලනය නමින් තරුණ ශිෂ්‍යයන් එකතු කරගෙන ක්‍රියාකාරී සංගමයක් නිර්මාණය කරනවා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව මිරිහානේ වෙළදසැලක් ආරම්භ කළ තරුණ සෝමරත්න ඒ අතරවාරයේදී මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ (“සෝම හිමියන්ගේ පන්සල” ලෙස ප්‍රසිද්ධ ධර්මායතනය) ධර්ම දේශණා වලට මෙන්ම පෝය දින වැඩසටහන් වලට නොවරදවාම සහභාගී වෙනවා. තවද එකල ඉතාමත් ප්‍රකට ධර්මධරයෙකු වූ ඒ.ඩී.එම් බුද්ධදාසයන් ඇසුරෙන් අභිධර්මය මනා ලෙස ඉගෙනගනු ලබනවා.

අභිධර්මය හැදෑරීම හා ධර්ම පොත් පරිහරණය කිරීම තුළින් පුළුල් වූ ධර්මඥානයක් ලබාගත් සෝමරත්න තරුණයාට පොහොය දින වලදී සිල් ගත් ගිහියන්ට ධර්මානුශාසනාවක් කිරීම පැවරී තිබුනා. පසුව වජිරඥාන ධර්මායතනයේ පැවදි වීමට මේ තරුණයාට අවශ්‍ය වූවත් දෙමාපිය අකමැත්ත ඊට හරස් වෙනවා. දෙමාපියන්ගෙන් දැඩි ලෙස ඉල්ලීම් කර කැමැත්ත දිනා ගැනීමට පසුව සමත් වෙන ඔහු මඩිහේ පඤ්ඤාසීය මහ නාහිමියන්ගේ අනුශාසනා මත 1974 වසරේ සැප්තැම්බර් 20 වනදා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී ගංගොඩවිල සෝම නමින් පැවිදි දිවියට පිවිසෙනවා.

පැවිදි දිවියට ඇතුළු වූ දා සිට සෝම හිමියෝ කැප වූයේ පරාර්ථ සේවය සඳහාම ය.

මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් බොදු ජනයා යහමඟට ගැනීමට උන්වහන්සේට හැකි විණි.

රූපවාහිනිය හරහා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට වූයේ කිසිවකු නොසිතූ ආකාරයටය.

දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලූ සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවකට පොදු පෙරමුණු රජයේ ප‍්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් ඇමැති සමග ප‍්‍රසිද්ධ විවාදයකට එළඹියේ ද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය.

සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප‍්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්ය භාරයයි.

සිංහල භික්ෂුන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක‍්‍රියා කරමින් භික්ෂු ජීවිතය ගත කළ බවත් රටවැසියාගේ දියුණුවට බාධා වන කරුණුවලට එරෙහිව ක‍්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බවත් 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප‍්‍රකාශයේ සඳහන් වේ.

වර්ෂ 2003 දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී උන්වහන්සේ අපවත් වූ අතර එම මරණය පිළිබඳ නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් එකල සමාජය පුරා පැතිර ගියේය.

රුසියාවේ දී හදිසියේ ඇතිවූ හෘධයාබාදයක් හේතුවෙන් උන් වහන්සේ අපවත් වන විට එරට ආයතනයක් මගින් උන්වහන්සේට පිරි නැමීමට සූදානම් කර තිබුණු උපාධියක් ලබා ගැනීමට උන් වහන්සේ රුසියාවට වැඩම කර තිබුණි.

දේවවාදය හා මූලධර්මවාදය විවේචනය කරමින් සමාජය තුළ නව කතිකාවක් නිර්මාණය කළ සෝම හිමියන් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසුව වඩාත්ම ජනප්‍රසාදයක් දිනාගත් ධර්ම දේශකයානෝ බවට පත්ව සිටියේය.

අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.

”ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහි වූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.”

(දෙසැම්බර් 12 අදට යෙදුනු සෝම හිමි 19 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.)

අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතියෙත්, සම්බුද්ධ ශාසනයෙත් අභිවෘධිය උදෙසා නැගු අවසන් සිංහ නාදය.