අයිස් සොයා බෑග් බලනවා, අහුවෙන්නේ හිස් කෑම පෙට්ටි

අයිස් සොයා බෑග් බලනවා, අහුවෙන්නේ හිස් කෑම පෙට්ටි

මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ හිස් කෑම පෙට්ටි පමණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (20) පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බලවතුන් අත්අඩංගුවට නොගෙන නිසි පෝෂණයක්වත් නොමැති පාසල් ළමුන්ගේ බෑග් පරීක්‍ෂා කිරීම විහිළුවට කරුණක් බව සජිත් ප්‍රේමදාස පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම්වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 45 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (20දා) විපක්‍ෂ නායක විසින් පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

පාසල් සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් දෙමාපියන්ට කන්න දෙන්න විදිහක් නැති අවස්ථාවක ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ පාසල් බෑග් පරීක්‍ෂා කිරීම නොව ඔවුන්ට නිසි පෝෂණයක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීම බව පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේදී සමගි ජනබලවේගය බලයට පත්වූ පසු මෙරට 43 ලක්ෂයක් වූ පාසල් දූ දරුවන්ට පාසල් කාලයේදී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙන බව පැවසීය.

එමෙන් ම කාලාන්තරයක් පුරා අපේ රටේ ඇත්තේ ගිරව් වැනි කටපාඩම් කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් වුවත් අප රටට අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

COMMENTS