වැස්සෙන් වැඩිම හානිය මහනුවරට – මරණත් දෙකක්

වැස්සෙන් වැඩිම හානිය මහනුවරට – මරණත් දෙකක්

පැවති අධික වර්ෂාපතනයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1500 ක් පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පීඩාවට පත්ව සිටින පුද්ගලයින් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර ගමනාගමනය බාධා එල්ල වූ මාර්ගවල පස්කදු සහ ගල් ඉවත්කරමින් පවතින බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.

එමෙන්ම වර්ෂාවත් සමඟ ජලයෙන් යට වී තිබූ මහනුවර දුම්රිය ස්ථානයේ ජලය ද මේ වන විට බැසගොස් තිබෙනවා.

මේ අතර මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 සහ 19 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙකු බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පස්දෙනෙකු සිට ඇති අතර, ඒ මියගිය වයස දෙදෙනාගේ මව, පියා සහ අනෙක් සහෝදරයායි.

ඔහුද පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මවට සහ පියාට අනතුරෙන් කිසිදු හානියක් සිදුව නැහැ.