ෂාෆ්ටර්ගේ මරණය ගැන පොලිස් ඇස වෙනත් මානයකට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කරගත්තේ දැයි යන්න ගැන අපරාධ විමර්ශකයන්ගේ දැඩි අවධානය මේ වනවිට යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශාෆ්ටර් මහතා සිය නැන්දම්මාට (බිරියගේ මවට) ලියන ලදැයි කියන ලිපියක් මුල් කරගෙන විමර්ශකයන්ගේ අවධානය ඊට යොමුවී ඇත.
හැඟීම්බර අදහස් අඩංගු එම ලිපිය සහ ඇයට යවන ලද එම අදහස් ද සහිත කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශකයන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
දිනේෂ් ෂාෆ්ටර් පසුගිය 15 වන දා තම බිරිය සමඟ එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබියදී බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථය තුළ සිට සොයාගත්තේ දෙඅත් පටියකින් බැඳී ගෙළ වයරයකින් සිරවී තිබියදී ය.
විධායක නිලධාරිවරයෙක් සුසාන භූමියේ සේවකයකුගේ සහායෙන් යුතුව ඔහු රෝහල්ගත කර තිබිණි.
අනතුරුව එදින ම පැය පහයි මිනිත්තු 15කට පමණ පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු ජීවිතක්ෂයට පත්විය.
ඔහුගේ මෝටර් රථය ස්ථානගත කර තිබූ ස්ථානය පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය දැඩිව යොමු වී ඇති අතර සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ යැයි හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන ඇත.
සමාගම් කිහිපයක හිමිකරුවෙකු වන දිනේෂ් ෂාෆ්ටර් කරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔහුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි ද නුවරඑළිය ප්‍රදේශයෙන් මිල දී ගත් රුපියල් කෝටි 300ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී කළ ව්‍යාපාරයකට ආයෝජනය කළ කෝටි 85ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙත ලබාදුන් රුපියල් කෝටි 160ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2,000ක් පමණ ඔහුට පාඩු සිදුවී ඇති බව ද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වනවිට අනාවරණය වී ඇත.
තව ද ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත, මල් පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබූ බව ත් පවුලේ සමීපතමයෝ පවසා ඇත.
දිනේෂ් ශාෆ්ටර්ගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සී.සී.ටී.වී. දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

