15 වැනි දා වර්ජන ක්‍රියාමාර්ග දැඩි වෙයි

15 වැනි දා වර්ජන ක්‍රියාමාර්ග දැඩි වෙයි

බදු ඉහළ නැංවීම, ජීවන වියදම ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති රැසක් අද දිනයේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ප්‍රකාශ කළා.

කොළඹදී ඊයේ එම වෘත්තිය සමිති අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ කියා සිටියේ එළඹෙන 15 වනදා වනවිට වර්ජන ක්‍රියාමාර්ග දැඩි කරන බවයි.

මේ අතර ඉහළ යන ජීවන වියදමට සරිලන දීමනා ලබා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් අද (08) පෙරවරු අටේ සිට එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කරනවා.

ඒ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුලු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ ඊයේ සාකච්ඡාවක් පැවති අතර, එහිදී ගැටළුවලට සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් එම වර්ජනයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එක්වන්නේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිය සමිති 40ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ රැස්වී තීරණය කළේ හෙට සිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමටයි.