ඩොලර් අර්බුදය විසඳෙයි – IMF පළමු ණය සහනය හෙට ?

ඩොලර් අර්බුදය විසඳෙයි – IMF පළමු ණය සහනය හෙට ?

වොෂිංටන්නුවර අද (20) රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම ඩොලර් මිලියන 300ක පළමු ණය මුදල මෙම මස අගදී මෙරටට ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ විශ්වාසය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් එහි සහාය ලබාගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයකටම පියවර ගත් බව රාජ්‍ය ඇමැතිවරයා කීය.

ඒ අනුව පුරා මාස පහකට අධික කාලයක් තිස්සේ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම රාජ්‍ය ආයතන මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ මහජනතාව මෙම වැඩසටහනට සහාය ලබා දුන් බව සේමසිංහ කීය.

සාර්ව ආර්ථික ස්ථායීතාව සහ ණය තිරසරභාවය ස්ථාපිත කරන අතර, මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සහ වංචා හා දූෂණ සිදුවීමේ අවදානම් වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය ළඟාකර ගැනීම සඳහා වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම ශ්‍රී ලංකාවට ලබාදුන් නව ණය ආධාර වැඩසටහනේ අරමුණු වෙයි.

ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය හෙට (21) රැස්වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව මෙම විධායක මණ්ඩල සාකච්ඡාව පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වීමට සංවිධාන කර තිබෙන අතර එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් පස්වරුවේ පැවැත්වෙන බව ද එය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (21) පෙරවරුවේ සිදුවන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහය වීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවකට පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එළැඹී ඇත.

ණය තිරසරභාවය සහතික කිරීමට සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය සහන ලබාගැනීම සහ බහුපාර්ශ්වික පාර්ශ්වකරුවන්ගෙන් අමතර මූල්‍යකරණයන් අවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට පෙර ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් ණය තිරසරභාවය ස්ථාපනය කිරීම සඳහා මුල්‍යකරණය සහතික කර ගැනීමට සහ පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගිතා ගිවිසුමකට එළැඹීමට සද්භාවයෙන් යුතුව ප්‍රයත්න දැරීම ඉතා වැදගත් විය.

ඒ අනුව ඉන්දියාව, චීනය, පැරිස් සමාජය, සෞදි අරාබියාව, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය පියවර ගන්නා බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකයක් ලබා දී තිබේ.