බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත්, සති දෙකකින් බිත්තර නැහැලු

බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත්, සති දෙකකින් බිත්තර නැහැලු

සති දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ ආපන ශාලාවටත් බිත්තර ගෙනැවිත් නැති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී බිත්තර සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ, “බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත් තියෙනවා. සති දෙකකින් බිත්තර ගෙනත් නැහැ,” යනුවෙන්.

එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,

“වෙළෙඳ ඇමැති හැටියට පසුගිය මාස හය හත තුළ බිත්තර ප්‍රශ්නයක් තිබුණු බව අපි දැන ගත්තා. මේ ගැන සාකච්ඡා කළා. විශේෂයෙන් ම කෘෂිකර්ම ඇමති සහ ඒ ඒ ආයතන සමග එක්ව සාකච්ඡා කරමින් ඊට සහය ලබා ගත්තා. රටේ 40%ක බිත්තර හිඟයක් තිබෙන බව අපි දැනගත්තා. ඒ අතර විශාල පරිශ්‍රමයක් දැරුවා මම බිත්තරවලට පාලන මිලක් දාගන්න. ඒ වගේ ම කටු සහිත බිත්තර ආනයනය කළා. මෙහි පළමු තොගය අද කොළඹ වරායට ආවා. ළඟදී ම ජනතාවට බිත්තර ලබා දෙන්න පුළුවන්. මේ වෙලාවේ දියර බිත්තර ගැන කතා කරනවා. හැබැයි ලෝකෙ ඉහළ ම සමාගම් Srilankan Airlinesවල පවා කෑම හදන්න දියර බිත්තර එක පාවිච්චි කරනවා. මේ රටටත් ආනයනය කරන්න අවස්ථාවක් ගැන අපි කතා කළා. ඊට අවසර ගන්නවා. හැබැයි මේ පාර්ලිමේන්තුවෙත් බිත්තර නැහැ. දැන් සති දෙකක් තිස්සේ බිත්තර ගෙනත් නැහැ.”යනුවෙන්.