ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරා ගනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්ව විද්‍යාලය විසින් සංවිධාන කරන ලද සම්මුඛ සාකච්ඡාවකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ අපේක්ෂාව දේශපාලන ස්වාධීනත්වය පවත්වාගෙන යමින් ලෝකයේ විශාලතම වෙළඳ කණ්ඩායම සමඟ ඉදිරියට යාම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැහි බවට ජනපති විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද “Aukus” ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්රර කර ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණා.
ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියානු ඉදිරි දර්ශනයට ශ්‍රී ලංකාව එකඟවන බව ද පැවසූ ජනාධිපතිවරයා ඉන්දු පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර දෙකකින් සමන්විත වන බවත් ඉන්දියන් සාගරයේ නාවික යාත්‍රා කිරීමේ නිදහස සහ මුහුද යට කේබල්වල ආරක්ෂාව සඳහා අපේ රට කැපවී සිටින බවත් එබැවින් ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය බවත් පැවසුවා.
තවද ජනාධිපතිවරයා දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටියා.
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති බවත්, එම සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මත බවත් වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී කලාපය තුළ අපගේ උපායමාර්ගික පිහිටීම භාවිතයට ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

