වනඅලි ප්රහාරයකින් වනසත්ව අඩවි ආරක්ෂකවරයෙක් මරුට

ගලෙන්බිදුණුවැව, පඩිකාරමඩුව ප්රදේශයේ ගම් වැදුනු වනඅලි රංචුවක් පලවා හැරීමේ මෙහෙයුමකට එක්ව සිටිය දී එල්ලවූ වනඅලි ප්රහාරයකින් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂකවරයා මරණයට පත්ව තිබෙනවා.
ඊයේ (28) පස්වරුවේ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වන අලි රංචු පලවා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබුණා.
එහිදී රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.බී. විජේකෝන්ගේ මූලිකත්වයෙන් එම වන අලි පලවා හැරීමේ මෙහෙයුම දියත්ව තිබුණු අතර දින කිහිපයක් නිවාඩු ලබා සිට ඇති විජේකෝන් ඊයේ(28) දිනයේ යළි සේවයට වාර්තා කර මෙම වනඅලි පලවා හැරිමේ මෙහෙයුමට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
එම මෙහෙයුම අතරතුර දී කලහකාරී ලෙස හැසිරුණු වන අලියෙකු මෙහෙයුමේ නිරතව සිටි වන සත්ව අඩවි ආරක්ෂක විජේකොන්ට පහර දී ඇති බව පොලිසිය පවසනවා.
වන අලියාගේ පහරදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ විජේකොන් එම අවස්ථාවෙදීම ප්රතිකාර සදහා හුරුළුවැව ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ මෙහෙයුමට එක්ව සිටි සෙසු වනජීවී නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව කටයුතු කර තිබුණා.
වනඅලි ප්රහාරය හේතුවෙන් බරපතළ තත්ත්වයේ සිටි විජේකෝන් රෝහල්ගත කළ අවස්ථාවේ මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මෙලෙස වන අලි ප්රහාරයෙන් මිය ගිය වනසත්ව අඩවි ආරක්ෂක පී.එම්.බී. විජේකොන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 20ක පමණ කාලයක් සේවය කර ඇති අයෙක්.
සිය සේවා කාලය තුළ ගනේවල්පොල, කන්තලේ, ලග්ගල, මාතලේ. හා රිටිගල ඇතුලු වනජීවී කාර්යාල රැසක සේවයේ නිරතවෙමින් එම ප්රදේශවල පවතින අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා මෙන්ම වනජීවී අපරාධ මැඩලීම සඳහා ද උපරිම කැපවීමෙන් කටයුතු කර තිබුණා.
මිය යනවිට 42 හැවිරිදි වියේ පසුවූ විජේකෝන මාතලේ ප්රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක්.

