එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ලංකාවට වෙන්න යන දේ

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ලංකාවට වෙන්න යන දේ

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා එකහෙළා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද අහිමි වී ගියේ ය.

ඒ, අද නවසීලන්තය සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුලු 6ක පරාජයක් අත්වීමත් සමඟ ය.

මේ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවත් තරඟාවලියකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.‍

1996 වසරේදී ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන තෙක් සියලු ලෝක කුසලාන තරඟාවලි නියෝජනය කර ඇත.

මෙතෙක් ක්‍රීඩා කළ තරග අනුව තරඟාවලිය සඳහා මේ වන විට කණ්ඩායම් 7ක් සුදුසුකම් ලබා තිබේ.

එම කණ්ඩායම් මෙසේ ය.

නවසීලන්තය
එංගලන්තය
ඉන්දියාව (සත්කාරක රට)
බංග්ලාදේශය‍
පකිස්ථානය‍
ඔස්ට්‍රේලියාව
ඇෆ්ඝනිස්ථානය
බටහිර ඉන්දීය කොදෙව් 8 වන ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකාව පසු වන්නේ, 9 වන ස්ථානයේ ය.

මෙම ලැයිස්තුවෙන් පළමු කණ්ඩායම් 8 තරගාවලිය සඳහා එකහෙළා සුදුසුකම් ලබන අතර සෙසු කණ්ඩායම් 5 අතර පැවැත්වෙන තෝරා ගැනීමේ තරගාවලියකින් පසු කණ්ඩායම් දෙකක් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබයි.

එම තරඟ පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය අතර ය.

දකුණු අප්‍රිකා කණ්ඩායම ද මෙතෙක් තරඟාවලියට සුදුසුකම් ලබා නොතිබීම විශේෂත්වයකි.

13 වන වරට පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝබර් 5 වන දා ආරම්භ වන අතර නොවැම්බර් 19 දක්වා පැවැත්වේ.