යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් – කාදිනල් හිමි

යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් – කාදිනල් හිමි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන් අද උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළේ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය හරහා ඔහු සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට පත් කර, අපහසුතාවට පත් කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ,

”මෙම ප්‍රහාරය මතුපිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා. මේ අතරම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා 2021 මැයි 1 වන දින කළ ප්‍රකාශය, දැන් ඒ මහතා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇද දමා ඒ මහතා අපහසුතාවට පත් කර සැබෑ චූදිතයන් සොයා යන්නට තමන්ට නොහැකිවීම වසා ගනිමින් පොලිසිය හා ආරක්ෂක අංශ කටයුතු කරන බව දැන් පැහැදිලි වෙමින් පවති. ඔවුන් කළ යුත්තේ එවැනි දෙයක් නෙවා ඒ මහතා පොලිස්පතිතුමාට ලැබ දුන් පිටු 189ක වාර්තාව කියවා බලා එහි කරුණු විමර්ශනය කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඇතැම් වගකිව යුත්තන්ට ජනාධිපති කොමිෂන් සභාව කර ඇති නිරේදේශවත් ක්‍රියාත්මක කරන්නට මැලි වන නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් ප්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙළුවත් , පිළිබඳව අවංකව ක්‍රියාදාමයට පියවර තැබීමට මැලි වන රජයත් පිළිබඳව අපි බලවත් ලෙස කනගාටු වෙමු. වත්මන් ජනාධිපතිතුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා මේ නොබෝදා තමන් කතෝලික සභාව සමඟ අවංක සංවාදයකට සූදානම් බව ප්‍රකාශ කළේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය රැක ගනිමින් දැයි අපිට ප්‍රශ්නයක් නැගනෙවා. ඒකාධිපතිවාදය රජ කරනවා ජනතා පරමාධිපත්‍යට පයින්ගසන්නට පියවර ගන්නා අප රටේ අද පවත්නා නායකත්වය පිළිබඳව අපිට විශ්වාසය තැබිය නොහැකියි. ආදරණීය දෙවි පියාණන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපේ මේ හඬට සවන්දී පාස්කු ඉරුදින සිදුවුණේ කුමක් දැයි අපිට පෙන්වා දෙන්නට කටයුතු කරන ලෙසයි. ඒලෙසම අප රට තුළ ලබා ගත් ඒක්සත් කමේ ජයග්‍රහණය කිසිවෙකුට පරාජය කරන්නට ඉඩ නොදෙන ලෙසයි. සියල්ලන්ට අපි දැනුම් දෙන්නේ, යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන් ඉන්නවා ” යනුවෙන්

මේ අතර සැමරුම් උත්සවය අමතමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කාදිනල්තුමන් ප්‍රමුඛ මෙම ව්‍යායාමයේ නියමුවන්ට ආරාධනා කර සිටියේ, බෞද්ධ රටක් යැයි කියා ගන්නා මෙ රට තුළ යුක්තිය සාධාරණය ඉටු වන්නේ නැත්නම්, සාධාරණය ඉටු කර ගැනීම සඳහා ජාත්‍යන්තරයට යාමට ක්‍රියා කරමු යනුවෙනි.

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් හා තුවාල ලැබූවන්ට යුක්තිය හා සාධාරණය ඉෂ්ට කරනැයි ඉල්ලමින් සංවිධානය කර තිබූ මෙම සැමරුම් උළෙලට සර්ව ආගමික නායකයින් ,විදේශ තානාපතිවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.