සේවක අර්ථ සාධක අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ – ජනපති

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කරනු ලැබ තිබේ.
එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.
“රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවක ම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයකි.
පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාව වන විට රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබු අතර ඒ හමුවේ සියලු දෙනාට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය. එම අභියෝගාත්මක කාල වකවානුවේ දී, ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
එමෙන් ම මේ උදා වී ඇත්තේ, අන් කවරදාටත් වඩා ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ අභිමානය ලොවට ප්‍රදර්ශනය කළ හැකි අවස්ථාවකි. මෙම තීරණාත්මක අවස්ථාවේ පටු දේශපාලන වුවමනාවන්ට ගොදුරු නොවී රට පළමුව තබා කටයුතු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
අප සෑම විට ම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ ද අපේක්ෂාව වන්නේ ය.
සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපනය කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් සිදුවීමට අප ඉඩ නොතබන බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග සමග එකමුතුව අත්වැල් බැඳ ගන්නා ලෙස මම සියලු වැඩ කරන ජනතාවට ආරාධනා කරන අතර ස්වකීය අයිතීන් සුරක්ෂිත වූ අර්ථවත් ජාත්‍යන්තර කම්කරු දිනයකට සුභාශීංසන එක් කරමි.” යනුවෙන්

