උපයෝගීතා කොමිසමෙන් අලුත් අනාවරණයක්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ.
අදාළ යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි, ලක්ෂපාන, උමා ඔය ඇතුලු සියලුම ජල බලාගාර සහ සෙසු බලාගාර වෙන් වෙන් වූ සමාගම්වලට පැවරීම හරහා ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් පාලනයට නතුවන බව ජනක රත්නායක මහතා අදාළ නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා.
ඊට අමතරව ජල බලාගාර අයත් සමාගම්වල ප්‍රමුඛතාවය අනුව බලාගාරවලට ජලය සපයන ගංගා හා ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදන මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම්වලට ද අභියෝගයක් එල්ල වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
නොරෝච්චෝලෙ බලාගාරය ද වෙනත් සමාගමකට පැවරීමටත්, ලංවිම සේවක අර්ථ සාධක අරමුදල් පාලන බලතල ද සමාගමකට පැවරෙන බවත් සඳහන් කරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළහොත් අනාගතයේදී බෙදා වෙන් කරන සමාගම් පුද්ගලීකරණය කිරීමෙන් මෙරට බලශක්ති සුරක්ෂිතතාවය අනතුරුදායක තත්ත්වයකට ඇද වැටෙන බව පෙන්වා දී තිබෙනවා.

