රෝහල් සහ රසායනාගාර 12කට දඩ

රෝහල් සහ රසායනාගාර 12කට දඩ

ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 12ක් සඳහා නීතිමය පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඒ. යූ. රංජනසඳහන් කළේ එම ආයතන 12 සඳහා රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇති බවය.

කොළඹ, නුගේගොඩ, මාලිගාකන්ද හා ගල්කිස්ස යන අධිකරණවලින් එම දඩ මුදල් නියමකර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය මගින් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් පසුගිය මාස 4 තුළ සිදුකළ විමර්ශනවලදී වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව නඩු පැවරීමෙන් අනතුරුව එකී දඩ මුදල නියම කර තිබුණි.

ඊට අමතරව අනෙකුත් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් විවිධ මධ්‍යස්ථානවල විවිධ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් දැනට පාරිභෝගික කටයුතු අධිකාරිය ට මැදිහත්වීමේ අවකාශයක් නොමැති බවත් නමුත් බහුලව භාවිත වන රසායනගාර පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් යම් මිල සීමාවක් පැනවීම සම්බන්ධයෙන් යෝජනා හා මූලික කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS