රාජාංගණයේ සද්ධාරතන හිමියන් රිමාන්ඩ්

ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අද (29) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.
උන්වහන්සේ ඊයේ (28) රාත්‍රියේ අනුරාධපුර ශ්‍රාවස්ත්‍රීපුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුතාවක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් ඊයේ (28) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

