කොළඹට සහ හයිලේවල් මාර්ගයට අලුතින් ලංගම බස්

ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ගය සම්බන්ධ කරමින් නව ලංගම බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මඟින් ගාලු පාර, හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින්, කොළඹට ඇතුළුවන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොළ සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
කටුබැද්ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතන පරිශ්‍රයේදී බස් රථ ධාවනයට එක් කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ව්සින් සිදු කෙරුණා.
කොළඹට ඇතුළු වීම සහ පිටවීම උදෙසා දෛනිකව විශාල මගීන් ප්‍රමාණයක් භාවිත කරන මෙම මාර්ග සඳහා නව බස් රථ සේවාව ආරම්භ වීමත් සමඟ් විශාල පිරිසකගේ ප්‍රවාහන ගැටලු සඳහා විසඳුම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ අවස්ථාවට එක්ව සිටියේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ ඇතුළු නිලධාරීන් පිරිසක්.


