සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම වැදගත්

ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා.
එබැවින් ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහාය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබුවා.
විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර පළාත් අනුකමිටුවේදී දින කිහිපයක් ඇතුළත ඩෙංගු පාලනයට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
වත්මන් තත්ත්වය රෝග වාහකයා සහ වෛරස් ප්‍රමාණය පාලනය කිරීමට කඩිනමින් පියවර ගත යුතු අවස්ථාවක් බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.
රෝහල් අවට ප්‍රදේශයන්හි ඩෙංගු පාලනයට වෙනමම මාර්ගෝපදේශ සකස් කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දුන් අතර, රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල (Fever corners) ඔවුන් හුදෙකලා කිරීම මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස හඳුනා ගන්නා රෝගීන්ගෙන් තවත් අයකුට රෝගය බෝ වීමට ඇති අවස්ථා පිළිබඳ කෙටි පණිවිඩයක් මඟින් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.
ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා සතියේ දින පහ වෙන් කර ගන්නා ලෙසත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් සීතා අරඹේපොල මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

