A/L විභාගය පැවැත්වීමට නිශ්චිත මාසයක්

අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ ඇමැති කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට පෙරේදා (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
‘අතිශය බරපතළ තත්ත්වයකදී හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් සහ එම මාසය වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වන ආකාරයට නීති සකස් කරනවා.
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බවත් 2048 දී දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බළකායක් රටට අවශ්‍යයි.’
මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බළකායක් ගොඩනැඟීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන ඇමැති කමිටුව’ පත් කර තිබේ.
ඊට සහාය වීම සඳහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මඟින් පූර්ව ළමාවිය සහ පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රථමික හා ද්විතීයික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතය.
ඉදිරි අභියෝග ජය ගත හැකි අනාගත පරපුරක් ගොඩනැඟීම සහ පුහුණු ශ්‍රම බළකායක් රට තුළ ගොඩනැඟීමට අධ්‍යාපන ක්‍රමයේ සිදු කළ යුතු කඩිනම් සංශෝධන පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.
වසර 13ක කාලයක් ළමුන් පාසල් අධ්‍යාපනයේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළ අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද සඳහන් කළේය. එසේම අධ්‍යාපනය තාක්ෂණය සමඟ බද්ධව ඉදිරියට යෑමේ අවශ්‍යතාවත්, පාසල් පද්ධතියේ ප්‍රමිතිය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළ අතර, පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළේය. රජයේ සහ පෞද්ගලික පාසල්වලද ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් තහවුරු විය යුතු බවත් ඒ සඳහා පරීක්ෂක කාර්යාල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක්කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුහුණු ශ්‍රම බළකායක් සිටින රටක් නියත වශයෙන් සංවර්ධනය කරා ගමන් කරන බැවින් ඉදිරි ශ්‍රම වෙළෙඳ පොළට අවශ්‍ය පුහුණ ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කළ යුතු බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
අධ්‍යාපනය ගැන කතා කිරීමට පෙර අපේ දීර්ඝ කාලීන ආර්ථික දර්ශනය පිළිබඳ කතා කළ යුතුයි. අධ්‍යාපනය ඊට සමගාමීව ගමන් කරනවා මිස පාරවල් දෙකක යා නොහැකියි. අප කෙටි කාලීනව උත්සාහ කරන්නේ ණය ප්‍රශ්නයෙන් නිදහස් වීමට. ඉන් පසුව රට ඉදිරියට ගෙන යෑමට නම් සමස්තයක් ලෙස අවුරුදු තුනකින් පමණ 8% ක 9% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන එය අවුරුදු දහයක් වත් පවත්වාගෙන යා යුතුයි. එලෙස කිරීමෙන් පමණයි අපට දියුණු වීමට හැකියාව ලැබෙන්නේ. ආර්ථික වර්ධන වේගයට බලපාන කරුණු කිහිපයක් තිබෙනවා. නිෂ්පාදන ඉහළ නංවාගත හැකි නම් එය විශාල දියුණුවක්. එහිදී අප අවම වශයෙන් මැලේසියාව, චීනය දෙස අවධානය යොමු කළ යුතුයි. ඉන් අනතුරුව සිංගප්පූරුව වැනි විශාල දියුණු තත්ත්වයකට අපට යා හැකියි. එය එක්වර සිදු කළ නොහැකියි.
මේ සඳහා අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. අද දකුණු කොරියාව, සිංගප්පූරුව, ජපානය දියුණු වෙලා තිබෙන්නේ මිනිස් බලය යෙදවීමෙනුයි. ඉන්දියාවත් බලාපොරොත්තු වෙනවා එම ඉලක්ක කරා ළඟා වීමට. අපත් එතැනට ගමන් කරනේ කොහොමද කියා තීරණය කළ යුතුයි. ඒ වගේම ඉදිරි වසර 10 තුළ ආසියානු කලාපයේ රටවල අවශ්‍යතා අනුව පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඇති වෙනවා. ඊට මුහුණ දීම සඳහා ස්වයංක්‍රියකරණයට අප යොමුවිය යුතුව තිබෙන අතර, ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන ගමනේදී දියුණු ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව ද අපගේ කඩිනම් අවධානය යොමු විය යුතුයි.
ඒ නිසා පළමුව ම අධ්‍යාපනය, ආර්ථික රාමුව, දේශගුණ විපර්යාස යන ක්ෂේත්‍ර තුන එකට එක් විය යුතුයි. අප තරගකාරී වුවහොත් පමණයි ඉදිරියට යා හැකි වන්නේ. අපේ අරමුණ වන්නේ ඉතාම තරගකාරී ආර්ථිකයක් ගොඩනැඟීමයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අගමැති ලේකම් අනුර දිසානායක යන මහත්වරු සහ අධ්‍යාපන විශේෂඥ කමිටුවේ සාමාජිකයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

