අළුබදුන තරඟාවලියේ පළමු ජය කැන්ගරුවන්ට

අළුබදුන තරඟාවලියේ පළමු ජය කැන්ගරුවන්ට

ටෙස්ට් ක්‍රිකට් පිටියේ චමත්කාරය රැගත් අළුබදුන තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

එංගලන්තයේ බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය අවසන් දිනය සදහා ආරම්භ කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 281ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියානුවන් සිය දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 107ක්.

අවසන් දිනයේ තරගය වර්ෂාව හේතුවෙන් පමා වී ඇරඹෙද්දී ඔස්ට්‍රේලියානු ඉනිමට තවත් ලකුණු 120ක් එක්වෙද්දී කඩුලු 5ක් බිද දමන්නට එංගලන්ත පන්දු බල ඇණියට හැකියාව ලැබුණා.

ඒ තරගයේ ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණෙමින්. උස්මාන් කවාජා ලකුණු 65යි.

ඒවන විට ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා ලකුණු 54ක් ලබා ගතව තිබු අතර එහිදී පිටියේ එක්වුණේ නායක පැට් කමින්ස් සහ නේදන් ලයන්.

සටන ලෙහෙසියන් අත් හරින්නට අකමැති වූ ඔවුන් දෙදෙනා රිසිසේ ලකුණු එකතු කරමින් ජයග්‍රහණය බලාපොරොත්තුව යළි ඔස්ට්‍රේලියාවට දල්වද්දී පැට් කමින්ස් දවා ගන්නට තිබුණු අවස්ථාව එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් අතින් ගිලිහි ගියා.

එම අවසරයෙන් ඔස්ට්‍රේලියාවට නොතිබුණු ජය ගෙන දෙන්නට පැට් කමින්ස්ට හැකියාව ලැබුණේ නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින්.

ඔහුට අනෙගි සහයක් ලබා දුන් නේදන් ලයන් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා මෙම තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කළේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සුවහසක් වු ක්‍රීඩා ලෝලීන් ද අමන්දානන්දයට පත් කරමින්.

2011 වසරෙන් පසු ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගයකදී හඹාගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 3ක් සහ ඔලී රොබින්සන් කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393ක් ලබා සිය ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව රැස්කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 273යි.

තරගයේ වීරයා උස්මාන් කවාජා.

මෙම ජයත් සමගින් තරග 5කින් සමන්විත අළුබදුන ටෙස්ට් තරගාවලිය තරග 1කට බින්දුවක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තා.

COMMENTS