කොරියා ගුවන් ගමන පමාවීමට හේතුව ශ්‍රී ලංකන් කියයි

කොරියා ගුවන් ගමන පමාවීමට හේතුව ශ්‍රී ලංකන් කියයි

ශ්‍රී ලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් පෙරේදා (20) දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය චෝදනා කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත්කර තිබේ.

2023 ජුනි 20 දින රාත්‍රී 08.20 ට සියෝල් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබූ UL 470 දරන ගුවන්යානය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාද වූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලන්කන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගුවන්යානය ගුවන්ගත කිරීමට නියමිතව සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එදින රාත්‍රියේදී හදිසියේ අසනීපවූ අතර ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ විවිධාකාරවූ රෙගුලාසි හේතුවෙන් 2023 ජුනි 21 දින වනතුරු ඒ වෙනුවට වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකිවූ බවය.

UL 470 දරන ගුවන්යානය මේ ආකාරයට ප්‍රමාදවීම නිසා ඇතිවූ අපහසුතාව පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටී.

මෙම ගුවන්යානයේ ගමන් කිරීමට නියමිතව සිටි පිරිසට මීළඟට පිටත් වන ගුවන් යානයෙන් සියෝල් බලා ගමන් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්වී පියවර ගනිමින් සිටින බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

මෙලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවය කොළඹ සහ සියෝල් අතර ගුවන් ගමන් පවත්වාගෙන යෑමෙහි ප්‍රධාන අරමුණ වනුයේ කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ගේ ගුවන් ගමන් පහසුව සැලසීම වන අතර ඒ වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය 2022 අප්‍රේල් මාසයේ සිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්වී කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.

ලොව සියලුම ගුවන් සේවාවන් තුළ කලින් කලට මෙවැනි ප්‍රමාදවීම් සිදුවෙන බවද අදාළ නිවේදනයෙන් පෙන්වාදී තිබේ.

ගුවන් සේවා කර්මාන්තය යනු ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නීතිරීති පවතින, පියාසර කාලසීමාවන් නියාමනයට ලක්වන සහ පියාසර කිරීමට අවසර දීමට පෙර ගුවන් යානාවල නඩත්තු තත්ත්වයන් දැඩි පරීක්ෂාවන්ට ලක්වන කර්මාන්තයකි.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය කිසිදු ප්‍රමාදයකින් තොරව තම ගුවන් ගමන් කළමනාකරණය කිරීමට සෑමවිටම උත්සාහ කරන බවද සඳහන් කරයි.

2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කාර්යසාධනය අනෙකුත් ප්‍රධාන ගුවන් සේවාවන්ගේ කාර්යසාධනය හා සමාන මට්ටමක පැවති අතර, වසරේ මුල් මාස 05 තුළ එහි ගුවන් ගමන්වාර සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රමාදයන් වාර්තා වීම, කොළඹ සිට පියාසර කරන අනෙකුත් ගුවන් සමාගම්වලට සාපේක්ෂව බොහෝ දුරට යහපත් මට්ටමක පැවැති බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේවෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ මෙවැනි සිදුවීම් අඛණ්ඩව සිදුවුවහොත් මෙරටට හිමිවන දකුණු කොරියානු රැකියා කෝටාවට බලපෑම් එල්ලවිය හැකි බවය.