තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියයි

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ වමත් පිතිකරුවකු ලෙස සැලකෙන ලහිරු තිරිමාන්න සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති බව පවසමින් සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.
මේ වන විට 33 හැවිරිදි වියේ පසු වන තිරිමාන්න විසින් සිය නිල Facebook පිටුවේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බවයි.
” පසුගිය වසර කිහිපය තුළ මගේ රට නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්. මේ ක්‍රීඩාව වසර ගණනාවක් තිස්සේ මට බොහෝ දේ ලබා දුන්නා. නමුත් මිශ්‍ර හැඟීම් රාශියක් ද සහිත ව වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් මගේ විශ්‍රාම ගැනීම මෙසේ නිවේදනය කරනවා.”
2010 වසරේ දී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනා ගගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පය තැබූ තිරිමාන්න සාපේක්ෂව සිය ක්‍රීඩා ජීවිතය තුළ සාර්ථක ම තරග රටාව ලෙස එක්දින තරග ක්‍රීඩා කළ අතර, ඔහු එක්දින ජාත්‍යන්තර තරග 127ක දී ලකුණු 3194ක් ලබා ගැනීමට සමත් වුනේ 34.71ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතවයි. එමෙන්ම ඔහුගේ නම ඉදිරියෙන් එක්දින ශතක 4ක් සහ අර්ධ ශතක 21ක් ද ලියැවී තිබෙනවා.
එමෙන්ම 2011 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් තිරිමාන්න විසින් ටෙස්ට් ක්‍රිකට් තරග 44ක දී ඉනිම් 85ක් ක්‍රීඩා කරමින් ලකුණු 2088ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ වෙනුවෙන් ශතක 3ක් එකතු කර ගැනීමට ඔහු විසින් සමත් වුනා. තමන් සෑම විටෙකම සිය රට වෙනුවෙන් උපරිමය ලබා දීමට උත්සාහ කළ බවයි සිය සමුගැනීමේ නිවේදනයෙන් තිරිමාන්න අවධාරණය කරන්නේ.
” ක්‍රීඩකයකු ලෙස මම මගේ උපරිමය ලබා දුන්නා, මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම ක්‍රීඩාවට ගරු කරලා, මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටු කළා.
එය ගැනීමට අපහසු තීරණයක්. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට බලපෑ අනපේක්ෂිත හේතු මට මෙහි සඳහන් කළ නොහැකියි.”
මීට අමතරව ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 26ක දී ද ශ්‍රී ලංකාව නියෝජනය කළ තිරිමාන්න 2014 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ද වුනා.
එමෙන්ම 2014 ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් ද විශිෂ්ට දායකත්වයක් ලබා දුන් තිරිමාන්න විසින් තරගාවලියේ අවසන් මහා තරගයේ ලබා ගත් ශතකයක් ද සමඟින් සමස්ත තරගාවලියේ ලකුණු 279ක් ලබා ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් වුනා.
තිරිමාන්න විසින් දැනුම් දුන් මෙම අනපේක්ෂිත තීරණයත් සමඟ මෙතෙක් කල් තමන් වෙනුවෙන් සහය ලබා දුන් පුහුණුකරුවන්, කණ්ඩායම් සාමාජිකයින්, ක්‍රිකට් රසිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු ම දෙනාට ස්තුතිවන්ත වන බව ද අවසාන වශයෙන් ඔහු විසින් සිය නිවේදනයේ සටහන් කර තිබුණා.


