“භාවනා කරමින් සිටි” මුහුදු මහා විහාරයේ හිමිනමට ප්‍රහාරයක්

“භාවනා කරමින් සිටි” මුහුදු මහා විහාරයේ හිමිනමට ප්‍රහාරයක්

පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වසන උඩලවත්තේ රත්නප්‍රිය හිමියන් ගල් ලෙනක භාවනානුයෝගීව සිටියදී බෝට්ටුවලින් පැමිණි මැර පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා (ජූලි 28) කරන ලද බව කියන පහරදීමක් සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පහර දීම් හේතුවෙන් තුවාල ලද රත්නප්‍රිය හිමියෝ මේ වනවිට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

ගල් ලෙනක භාවනා කරමින් සිටියදී සෙනසුරාදා සවස එම ස්ථානයට පැමිණි කණ්ඩායමක් තමන් වහන්සේට හබලකින් පහරදුන් බව උන්වහන්සේ පොලිසියට පැමිණිලි කර පවසා තිබේ.

ප්‍රහාරයෙන් ගැලවීම පිණිස කොහොඹ ගසක් යට සැඟව සිටියදී එම ස්ථානයට දිගාමඬුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුසාරෆ් සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රහීම් පැමිණි අතර තමන් වහන්සේට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඔවුන් දෙදෙනාට පැවසූ බව ත් පොලිසියට උන්වහන්සේ පවසා ඇත. මෙම පහරදීමට මුල්වූ සිදුවීම් සොයා විමර්ශන පැවැත්වෙන බව පොතුවිල් පොලිසිය කියයි.

COMMENTS