ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියා මව්බිම වෙනුවෙන් දිවි පුදා අදට වසර 31ක්

ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් වීර සෙන්පතියා මව්බිම වෙනුවෙන් දිවි පුදා අදට වසර 31ක්

ලක් ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සනිටුහන් කළ සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවා උතුරුකරයේදී මව්බිම වෙනුවෙන් දිවි පුදා අදට 31 වසරක් සපිරෙනවා.

අරාලි තුඩුවේදී පුපුරාගිය මාරාන්තක බෝම්බයකට හසු වීමෙන් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් දස දෙනෙකු දැයට අහිමිවුණා.

1940 වසරේ ජුලි 27 වනදා උපත ලැබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ දක්ෂ හොකී සහ රග්බි ක්‍රිඩකයෙක්. 1960 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ඔහු මූලික හමුදා පුහුණුව සාර්ථකව හදාරා එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් වැඩිදුර පුහුණුව ලැබුවා. 1962 වසරේ අගෝස්තු තුන්වනදා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත් වූ ඒ මහතා යුද හමුදාවේ තනතුරු රැසක් හොබවූවා.

ත්‍රස්තවාදය මව්බිමෙන් මුළිනුපුටා දැමීමට ක්‍රියාත්මක කළ මෙහෙයුම් ගණනාවකට අණදුන් කොබ්බෑකඩුව මහතා බොහෝ දෙනා අතර වඩාත් ප්‍රචලිත වූයේ වඩමාරච්චි සටනේදී දැක්වූ දක්ෂතා මතයි. නැගෙනහිර පළාත /යාපනය අර්ධද්වීපයේ බලය තහවුරු කිරීමට සැලසුම් කරමින් තිබූ ඔපරේෂන් ෆයිනල් කවුන්ඩවුන් හි මූලික කටයුතුවල නිරතව සිටියදී 1992 වසරේ අද වැනි දිනෙක යාපනය අරාලි තුඩුවේදී කොබ්බෑකඩුව මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ගමන්ගත් ලෑන්ඩ්රෝවර් රථය බිම් බෝම්බයකට හසුවුණා.

රටම කම්පාවට පත්කළ එම සිද්ධියෙන් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව/ මේජර් ජෙනරාල් විජය විමලරත්න/ රියර් අද්මිරාල් මොහාන් ජයමහ/ ලුතිනන් කර්නල් එච්ආර් ස්ටීවන්/ ලුතිනන් කර්නල් ජී එච් ආරියරත්න/ ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන/ කමාන්ඩර් අසංග ලංකාතිලක/ ලුතිනන් කර්නල් නලින්ද අල්විස්/ ලුතිනන් කමාන්ඩර් සී බී විජේපුර/ සාමාන්‍ය සෙබල ඩබ්ලිව් ජී වික්‍රමසිංහ යන විරුවන් මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් තම අවසන් සුසුම්පොද වාතලයට එක්කළේ

ලක්වැසියන්ගේ සිත් සතන් සෝ සයුරක ගිල්වමින්. එසේ දිවිපිදූ කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවන් සිහිපත් කරමින් අද දිනයේ ගුණසමරු වැඩසටහන් කිහිපයක්ද පැවැත්වුණා.