අස්වැසුම අභියාචන සහ විරෝධතා සමාලෝචනය අගෝස්තු මස අවසන්

අස්වැසුම ශුභසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා ඉදිරිපත්ව ඇති මිලියන 1.02 පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි හතර දහසක් පමණ වන විරෝධා සමාලෝචනය කිරීම අගෝස්තු මස අවසන් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම සමාලෝචන අවසන් වන විට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යා මිලියන දෙක සම්පූර්ණ කරනු ඇති බව ය.
අස්වැසුම ශුභසාධන ප්රතිලාභ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යවරයා ඊයේ (අගෝ. 9) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
මේ වන විට අස්වැසුම පිළිබඳ අභියාචන සහ විරෝධතා ඉදිරිපත් කරන කාලය තුළ අභියාචන 1,024,059ක් සහ විරෝධතා 124,495ක් ලැබී ඇති අතර දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරා ගෙන ඇති එහෙත් ඉහළ ප්‍රතිලාභී කණ්ඩායමකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති පවුල් 84,374ක් වෙනුවෙන් දැනට ඔවුන් තේරී පත්වී ඇති කාණ්ඩය යටතේ ප්රතිලාභ ගෙවීම සිදු කිරීමට නියමිත ය.
දැනට සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම සඳහා අයැදුම් කර තිබේ. ඉන් පවුල් 887,653ක් අස්වැසුම සඳහා සුදුසුකම් සපුරා ඇත. අයැදුම් කළ පවුල් අතරින් සුදුසුකම් නොලැබූ පවුල් 393,094ක් වෙනුවෙන් විරෝධතා සහ අභියාචනා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තුරු සමෘද්ධි ප්රතිලාභ අඛණ්ඩව ගෙවීම සිදු කෙරේ.
පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ප්රතිලාභ ලබා දීම අස්වැසුම සමාජ ශුභසාධන වැඩසටහනේ ඉලක්කය වන අතර අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් වීමේ දී එම ඉලක්කගත පවුල් ප්‍රමාණයට ප්රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්රතිලාභ ගෙවීම සඳහා ගිණුම් ලක්ෂ 13ක පමණ තොරතුරු මේ වන විට පද්ධතියට ලැබී ඇති අතර නව ගිණුම් ආරම්භ කිරීමේ කටයුතු රාජ්‍ය බැංකු මගින් සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

