ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 72යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (03) පැවැත් වීමට නියමිතයි.
ඒ එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
අද පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගටද ආරාධනා කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කර නොමැති බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර සිටියා.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක් කරමින් දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක 1951 සැප්තැම්බර් මස 2 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබුවා.
1956 වසරේ පැවති මහ මැතිවරණයට ඉදිිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් 60 න් 51 ක්ම ජයග්‍රහණය කළ අතර එය හැදින් වූයේ පංචමහා බලවේගය විසින්ම ලබා ගත් ජයග්‍රහණයක් ලෙසයි.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම, ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි 1 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම අනතුරුව සිදු වුණා.
වර්ෂ 1960 ජුලි 21 වන දින ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක පත්වන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදයෙන්.
එසේම 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, 2005 වසරේ මහින්ද රාජපක්ෂ, 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මෙරට විධායක ජනාධිපතිවරුන් බවට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත් සන්ධාන තුළින්.

