ඉන්දු – පාකිස්තාන සීතල යුද්ධයට වර්ෂාව හරස්වෙයි

ඉන්දු – පාකිස්තාන සීතල යුද්ධයට වර්ෂාව හරස්වෙයි

ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය ඊයේ (02) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට කටයුතු යොදා තිබුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමත් වුණු අතර ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඉන්දීය කණ්ඩායම සිය ඉනිමේ පන්දු ඕවර 48 පන්දු 5 සියලුදෙනාම දැවී ලකුණු 266 ක් ලබා ගත්තා.

මේ අනුව තරගය ජය ගැනීමට නම් පාකිස්ථානු කණ්ඩායමට පන්දු ඕවර 50ක් තුළදී ලකුණු 267 ක් ලබා ගත යුතු වුණා.

නමුත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වීම හේතුවෙන් පාකිස්ථාන ඉනිම ආරම්භ වීමට විටින් විට බාධා පැමිණි ඇති අතර අවස්ථා කිහිපයකදී තරගය ආරම් කිරීමට උත්සාහ කළත් අයහපත් කාලගුණය හේතුවෙන් අවසානය අත්හැර දැමීමට තරග තීරකයන් විසින් තීරණය කළා.

ක්‍රිකට් පිටියේ සීතල යුද්ධය ලෙසින් සැලකෙන ඉන්දියාව සහ පාකිස්ථානය එක්දින තරගයකදී මෙලෙස හමුවන්නේ වසර 4කට පසුව වන අතර අවසන් වරට ඔවුන් එක්දින තරගයකදී මුණ ගැසුණේ 2019 ලෝක කුසලානයේදීයි.

මේ අතර පකිස්ථානය 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

තරගාවලියේ A කාණ්ඩයේ මූලික වටයේදී පකිස්ථානය මුහුණු දුන් තරග දෙක අවසානයේ ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 3කට හිමිකම් කියමිනි.