ජනපති අමෙරිකාවට

ජනපති අමෙරිකාවට

කියුබාවේ පැවති ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගොස් තිබේ.

අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවර වෙත ගොස් ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘ජී 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව පෙරේදා (සැප්. 15) දිනයේ ඇමතූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කළේ, ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණ දීමේ දී විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ය.

සිය කියුබානු සංචාරය තුළදී ජනාධිපතිවරයා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබී ය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය හෙට දිනයේ සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වන දින සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එම සැසිවාරයට සමගාමී ව සැප්තැම්බර් මස 18 වැනි දින පැවැත්වෙන 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශය සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිත ය.

එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුළුවට එක් ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

COMMENTS