මහජන උපයෝගීතා කොමිසමෙන්, විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැළපීම් පවතින බැවින් නව දත්ත යොමු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
ලිපියක් යොමු කරමින් එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ විදුලි ඉල්ලුම අඩුවීම, ගල් අඟුරු මිල පහළ යාම සහ ජලාශ රැසක ජල මට්ටම ඉහළ යාම යන සාධක සැලකිල්ලට ගනිමින් විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙසයි.
පසුගිය සැප්තැම්බර් මස අගදී ලංකා විදුලි බල මණ්ඩලය යළිත් විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා තිබුණේ ජුලි සහ අගෝස්තු මාසවලදී මණ්ඩලයට රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවූ බව සඳහන් කරමින්.
ඒ අනුව විදුලි ඒකකයක ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීම හෝ සමස්ත ගාස්තුව සියයට 22කින් වැඩි කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබුණා.
කෙසේවෙතත් විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දත්තවල නොගැලපීම් පවතින බැවින් නව දත්ත යොමු කරන ලෙස උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ගෙවුණු සැප්තැම්බර් මාසයේ දිනකට ගිගාවොට් පැය 44.7ක විදුලි ඉල්ලුමක් පවතිනු ඇතැයි තක්සේරු කළද සැබෑ ලෙසම ඉදිරිපත්වී ඇති ඉල්ලුම ගිගාවොට් පැය 41 ක් බවයි.
එමෙන්ම ගල් අඟුරු කිලෝග්‍රෑමයක මිල රුපියල් 68.60ක සිට රුපියල් 52.60ක් දක්වා අඩු වී ඇති බව ද කොමිසම පෙන්වා දෙනවා.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අයත් කාසල්රී ,මාවුස්සාකැලේ ,සමනල වැව,කොත්මලේ යන විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම ද ඉහළ වර්ෂාධික කාලගුණය හේතුවෙන් ඉහළ ගොස් තිබෙනවා.
එබැවින් මෙම සාධක සලකා පිරිවැය නැවත ගණනය කරන ලෙසත්, එම දත්ත ලබන 18 වනදාට පෙර කොමිසමට යොමු කරන ලෙසත් උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා යොමු කළ ලිපියේ සඳහන්.
ඉදිරියේදී විදුලි ජනන වියදම අවම කරගත හැකි තත්ත්වයක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.

