දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්

වසර 12 කට පමණ පෙර බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය අද (31) බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවමක් නියම කළා.
මෙලෙස දඬුවම් නියම වූයේ සෙවණගල – මහගම ජනපදය ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකුටයි.
2011 වසරේ දී අවස්ථා 3ක දී සැකකරු අතින් මෙම දැරිය අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
ඔහුට එරෙහිව සෙවණගල පොලිසිය නඩු පවරා තිබූ අතර, මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල සැකකරුට රුපියල් විසි පන්දහසක දඩයකට අමතරව අදාළ දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

