ජෝර්දානයෙන් ලාංකිකයින් 31ක් පිටුවහල් කරයි

ජෝර්දානයෙන් ලාංකිකයින් 31ක් පිටුවහල් කරයි

ජෝර්දාන බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් තිස් එක් දෙනෙකු පිටුවහල් කර තිබෙනවා.

පිටුවහල් කිරීමේ නියෝගය ජෝර්දාන බලධාරීන් විසින් ක්‍රියාත්මක කර තිබෙන්නේ, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ ජෝර්දානයේ මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලය සමඟ සහයෝගයෙන්.

පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් ඉකුත් 27වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි බව අම්මාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළා.

මෙම ශ්‍රී ලාංකිකයින් 2023 ජූලි 22 වැනිදා රැකියා අවස්ථා සොයා ගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා මත ජෝර්දානයට ඇතුළු වී තිබෙන බව වාර්තා වෙනවා.

2023 ඔක්තෝබර් 12 වැනිදා උතුරු අම්මාන් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ඔවුන් උතුරු අම්මාන් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවාගත් අතර, සංක්‍රමණික ශ්‍රමිකයින් සංචාරක වීසා මත පැමිණ කාලය ඉක්මවා රැඳී සිටීම හෝ නීතිවිරෝධී ලෙස ජාත්‍යන්තර දේශසීමා තරණය කිරීමට උත්සාහ කිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බව වාර්තා වෙනවා.

2023 ජනවාරි සිට මේ දක්වා, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකිකයන් 120 ක් පමණ පිටුවහල් කිරීමට පහසුකම් සැලසීමට ජෝර්දානය බලධාරීන්ගේ සහාය ඇතිව ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති බව වඩිදුරටත් වාර්තා වෙනවා.