ලලිත් කොතලාවල මහතාගේ මරණය සැලසුම් සහගත කුමන්ත්‍රණයක්

ලලිත් කොතලාවල මහතාගේ මරණය සැලසුම් සහගත කුමන්ත්‍රණයක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක් ලෙස පෙන්වීමට ඉතා සැලසුම් සහගතව සිදු කළ ඝාතණයක් බව සෙලින්කෝ තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා මහතා ඊයේ (03දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

එම මරණය ස්වභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීරණය කළේ මෙම සාක්ෂි ලබාදීමට පෙරයි.

ලලිත් කොතලාවල මහතා ඔහුගේ බිරිඳ සමඟ කොළඹ සහ එළිබෑන්ඩ් පාරේ පිහිටි ඔහුගේ නිවසේ පදිංචිව සිටිය දී ඔහු බලහත්කාරයෙන් එම නිවසින් පිටකරවා ගෙන කොළඹ ෆොන්සේකා මාවතේ පිහිටි ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස් ඇති අතර පිරිසිදු වාතාශ්‍රය නොලැබෙන ජනෙල් කවුළු නොමැති අඩි 10×12 කාමරයක රඳවා තබාගෙන සිටි බව හෙළිවී තිබෙනවා.

ඔහුගේ වයෝවෘද්ධභාවය නොතකා නිවිති මිශ්‍ර සුප් වර්ග හා තැඹිලි වතුර පවා මහ රාත්‍රියේ විටෙන් විට පානය කිරීමට සලස්වා ඇති බව ජූඩ් මාකෝ මහතා අධිකරණය හමුවේ සාක්‍ෂි දී තිබෙනවා.

ලලිත් කොතලාවල මහතාට අයත් හෝ ඔහු තනතුරු දැරූ සමාගම්වල කිසිදු දේපළක් කුමන හේතුවක් මත හෝ අන්සතු කිරීම, පවරා දීම හෝ එකී මුදල් යොදවා වෙනත් ව්‍යාපාර ආරම්භ කිරීම වළක්වන ඇප කොන්දේසියක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබියදීත් එම ඇප කොන්දේසිය කඩකරමින් රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ඇතැම් පිරිස් සහ සමාගම් නමින් පවරාගෙන ඇති බව සාක්‍ෂිකරු අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගය ඊයේ (03) සිදු කළා.