ක්‍රිකට් ගොඩගැනීමට අන්තිම පාරට මේ උත්සාහය ගන්නේ – අර්ජුන

ක්‍රිකට් ගොඩගැනීමට අන්තිම පාරට මේ උත්සාහය ගන්නේ – අර්ජුන

ජනපතිවරයා තමන් ගැන දන්නා බැවින් ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බව ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.

නව පත්වීම ලැබීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි අතර එහිදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් ඇමතිවරයෙකු ලෙස ෆේල් නොවූ බව ජනපති හොඳින් දන්නා බවය.

එහිදී සිය ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්ද ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

මේ අතර අමාත්‍යවරයා විසින් මෙලෙස සිදුකළ පත්කිරීම් තුළ තමන්ට පැවරී ඇති බවගකීම වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම පමණක් බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තමන් ධුරයට පත්කිරීමත් සමග දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 6 දෙනෙකු දුරකථනයෙන් අමතා සහාය ලබාදීම සඳහා ඕනෑම මොහොතක සූදානම් බව ද සඳහන් කළේය.

දැනට විශ්‍රාම ගෙන සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 80 දෙනෙකු පමණ සිටින බවත් ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා ඔවුන්ගේ සහාය තමන්ට ලැබෙනු ඇති බවත් ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා පැවසීය.

එසේම මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැටුප්ගෙන සේවයේ නිරතවන අයට සංචාරකයින් පමණක් විය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ පත්කිරීම ICCයට අදාළ කරුණක් නොවන බව පෙන්වාදුන් අර්ජුණ රණතුංග මහතා පැවසුවේ මෙම පත්කිරීම අමාත්‍යවරයා විසින් විගණකාධිපති වාර්තාවේ නිර්දේශ අනුව නීත්‍යානකූල ලෙස සිදුකර ඇත බවය.

එසේම ඉදිරියේදී ICCයේ පැවැත්වෙන රැස්වීම් සඳහා තමන් සහභාගී වීමට අපේක්ෂා නොකරන බවත් ඒ සඳහා උපාලි ධර්මදාස මහතා සහභාගී වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

පසුගිය කාලසීමාවේ අනවශ්‍ය කරුණු ළඟාවීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට පත්වීම සිදුවූ බවද අර්ජුණ රණතුංග මහතා පවසයි.

එසේම ක්‍රිකට් ආයතනයේ පුද්ගලයින්ට විවේකීව නිවාඩුවේ සිටිය නොහැකි බව පැවසූ අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේ පුහුණුකරුවන්ට AC කාමරවල සිටීමට අවස්ථාවක් හිමි නොවන බවත් ඔවුන් ක්‍රීඩා පිටියේ සිටිය යුතු බවත් ය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා මේ තමන් ගන්නා අවසන් උත්සාහය බවද අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

ක්‍රිකට් ගොඩගැනීම සඳහා තමන් විසින් සිදුකරන දෑ අතර ප්‍රධානතම දේ ක්‍රීඩකයින්ගේ විනය සැකසීම බවද ඒ මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සඳහා තමන් සතුව සුවිශේෂී සැලැස්මක් ඇති බවත් එය ක්‍රමානුකූලව සිදුකරන බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යොදා ගැනීම වඩා උචිත බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

COMMENTS