ආබාධිත පුරවැසියන්ට නව පනතක්

ආබාධිත පුරවැසියන්ට නව පනතක්

ජනාධිපතිගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනූප පස්කුවල් ප්‍රකාශ කළා.

ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය වන අතර ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැළකිය යුතු නැති බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල්,

”දෙසැම්බර් මස පළමු වනදාට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සමාරම්භක උත්සවයක් ලෙස ආබාධිත ජනතාවත් සෙසු ප්‍රජාව මෙන් සංවර්ධනයට දායක කරගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා. එහිදී දිවයින පුරා සිටින ආබාධිත ජනතාව සංචාරක ව්‍යාපාරයට එකතු කරගැනීම වෙනුවෙන් “Empo 2023” තේමාව යටතේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් කරනවා. එහිදී දළදා මන්දිරය වන්දනා කිරීමෙන් පසු, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීනය, ජපානය ඇතුළු ලොව පුරා සිටින ආබාධිත ප්‍රජාව ද මෙම අවස්ථාව සඳහා එක්වීමට නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත අබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතුණ ද එය නිසි අයුරන් සකස් කරගැනීමට හැකි වූණේ නැහැ. එම පනත සකස් කර අවසන් කොට ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය, විශ්‍රාම වැටුප් ක්‍රමය අනිවාර්යය කරන ලෙස සහ (disability studies) අබාධිත අධ්‍යයනය පාඨමාලාව විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් අප මෙවර අයවැය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.”