මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

2023 එක්දින ලෝක කුසලානයේ 39 වැනි තරගය වන ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (07) පැවති තරගයේ ජය හිමි කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී 291ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කැන්ගරුවන්ට පීඩනය එල්ල කරමින්.

එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රාහිම් සද්‍රාන් එක්දින ලෝක කුසලානය පළමු ශතයක වාර්තා කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයා බවට පත්වුණා.

ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 129ක් සහ රෂීඩ් ඛාන් නොදැවී වේගවත් ලකුණු 35ක් රැස්කළා.

ජෝෂ් හෙසල්වූඩ් කඩුලු 2යි.

ලකුණු 292ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසුණු ඔස්ට්‍රේලියා ඉනිමේ මුල් කඩුලු 7 ලකුණු 91ක් වන විට බිඳ දමන්නට ඇෆ්ගන් පන්දු බල ඇණියට හැකියාව ලැබුණේ සිය කණ්ඩායමේ ජය මාවත විවර කරමින්.

කෙසේ වෙතත් ග්ලෙන් මැක්ස්වෙල් කල් ඇතිව ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට තිබුණු පහසු උඩපන්දු කිහිපයක්ම ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන් අතින් ගිලිහි යද්දී කැන්ගරුවන් පරාජයෙන් ගලවා ගැනීමේ සටන මැක්ස්වෙල් තනිව දියත් කළා.

එහිදී අනුකම්පා විරහිත පිතිරඹයක් දියත් කළ ග්ලෙන් මැක්ස්වෙල් එක්දින දිවියේ සිය සිව්වැනි ශතකය වාර්තා කළා.

08 වැනි කඩුල්ලට ජගත් එක්දින පිටියේ හොඳම සබදතාව ගොඩනැගූ ග්ලේන් මැක්ස්වෙල් සහ පැට් කමින්ස් ඔස්ට්‍රේලියානුවන්ට නොබිදුණු ලකුණු 202ක දැවැන්ත සබදතාවක් ගොඩනගිමින්.

ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ග්ලේන් මැක්ස්වෙල් පාදයේ ආබාදයක්ද සහිතව ක්‍රීඩා කරමින් පන්දු 128කින් නොදැවී ලකුණු 201ක් ලබාගත්තා.

මේ ඔහුගේ මංගල එක්දින ද්විත්ව ශතකයයි.

මැක්ස්වෙල් ද්විත්ව ශතකයක් ලබාගනිද්දී ඔහුට සහය ලබාදුන් නායක පැට් කමින්ස් නොදැවී ලබාගෙන තිබුණේ ලකුණු 12ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 46යි පන්දු 05කදී කඩුලු 07ක් දැවී ලකුණු 293ක් ලබා මෙම තරගයෙන් සුපිරි ජයක් වාර්තා කලා.

මෙම තරගය ඔස්ට්‍රේලියාව ජය ගැනීමත් සමඟ සුපිරි හතර දෙනාගේ වටයට ඔස්ට්‍රේලියාව කණ්ඩායම තේරී පත්වුණා.

Glenn Maxwell ගේ මෙම ඉනිම වාර්තා පොත් අතරට එක් වන්නේ ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹා යෑම ලෙසයි.

COMMENTS