හිරු­ණිකා අත්අ­ඩං­ගු­වට ගන්න නියෝග

හිරු­ණිකා අත්අ­ඩං­ගු­වට ගන්න නියෝග

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝග නිකුත් කළේය.

අධිකරණ නියෝග කඩ කරමින් 2022 වසරේ ජූලි 7 දා උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 12 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මේ නියෝගය නිකුත් කරනු ලැබීය.

නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීපයෙන් පසු වන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දූන්නේය. ඒ අවස්ථාවේ අසනීපයට අදාළ වෛද්‍ය සහතිකය මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අතර, එය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සැමට නීතිය එක බව කියමින් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුවක් නිකුත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් 10 දෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙසට ගිනි තැබූ පසුගිය වසරේ ජූලි 9 දාට දින දෙකකට පෙර සිදු කළ එම උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග කඩ කළ බවට හිරුණිකා නෙරංජලී ප්‍රේමචන්ද්‍ර, නිරූපමා කරුණානායක, සප්නා දීපිසිකා, චමිලා නිලානි අබේකෝන්, රොසෙල් විජේරත්න, සඳරුවන් රොද්‍රිගු, යූ ප්‍රකාශ්, ගිහාන් අල්මේදා, රවීන්ද්‍ර පනාවිල, විජේරත්න ජයවික්‍රම, රම්සික, කාවින්ද උදයංග ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ.

COMMENTS