අධිකරණයට ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්

අධිකරණයට ක්‍රීඩා ඇමතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම සළකා බැලීම සඳහා ලබන සදුදා (20) කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

පෙත්සම විමසීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම හේතුවෙන්, මතු වී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගෙන ලබන සදුදා පෙත්සම සලකා බලන තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කරන ලද පෙත්සම අද සලකා බැලීම සඳහා ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ පුද්ගලික හේතුන් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි.

අනතුරුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යළි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ කැඳවනු ලැබුවා.

අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළා.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ
” ස්වාමීනි මෙම නඩුකරයට අදාළව අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වෙනවා. ඒ නිසා මෙම පෙත්සම සළකා බැලීම වෙනත් දිනයකට කල් තබනවා නම් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”
යනුවෙන් සඳහන් කළා.

එම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා දැඩි විරෝධය පළ කළා.

“ස්වාමිනි මෙම නඩුකරයට අදාළ නිවැරදි තොරතුරු වසන් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නම් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ නෑ. දැන් මේ පෙත්සම් කැදවනු ලබන්නේ නව විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටයි. අදාළ අතුරු තහනම් නියෝගය අදින් අවසන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී දීර්ඝ කිරීමට අතුරු නියෝගයක් අධිකරණය හමුවේ නෑ. නව විනිසුරු මඩුල්ලකට අලුතින් කරුණු සළකා බැලීමෙන් අනතුරුව පමණයි නව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැත්ද? යන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගත් හැක්කේ”
යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළා.

මෙම පෙත්සම සළකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බැවින්, මෙම අවස්ථාවේ දී මතුවී තිබෙන ප්‍රායෝගික අපහසුතාවය යන කරුණ පමණක් සැලකිල්ලට ගෙන පෙත්සම සළකා බැලීමට නියමිත ලබන සදුදා (20) දින තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබා දෙන බවත්, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ සඳහන් කළා

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ප්‍රකාශ කළේ නව විනිසුරු මඩුල්ලට දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවයි.

අනතුරුව අදාළ පෙත්සම සළකා බැලීම සඳහා ලබන සදුදා කැදවීමට නියම කළා.

COMMENTS