ප්‍රමෝද්‍යගේ චෝදනාව ගැන විමර්ශන කරන්න සූදානමක්

ප්‍රමෝද්‍යගේ චෝදනාව ගැන විමර්ශන කරන්න සූදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙතයි.

2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරඟ පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දැනුම් දුන්නේ.

ඒ අනුව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගත යුතු බවට යි.

මේ අතර ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පොලිසියෙන් කළ ඉල්ලීමක් පරිදි ඊයේ (15) සිට ඔහුගේ ආරක්ෂාවට ඇමැති ආරක්ෂක අංශයේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු ලබාදීමට ක්‍රියාකර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය පරිදි ඔහුට මෙම ආරක්ෂාව ලබාදීමට ක්‍රියාකර තිබේ.

මේ අනුව ක්‍රීඩා ඇමැතිවරයාට ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හත්දෙනාට අමතරව මෙම පොලිස් නිලධාරීන් තිදෙනා මෙසේ සේවයට යොදවා ඇත.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා තමාගේ ජීවිතයට තර්ජන තිබෙන බවට කර ඇති ප්‍රකාශයන් අනුව මෙම පියවර ගෙන ඇත.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ රොෂාන් රණසිංහ ඇමැතිවරයාට දැනට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් හයදෙනාට අමතරව මෙම නිලධාරීන් තිදෙනා ද යොදවන බව පැවසීය.

COMMENTS