අල්ලස් කොමිසම් සභාපතිගේ වැටුප වැඩිකිරීමට නිර්දේශයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ දැනට යෝජනා කර ඇති වැටුප් පරිමාණය නැවත සලකාබලා කැබිනට් අනුමැතිය ලබාගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිර්දේශය ඊයේ (16) දිනයේ සිදු කළ බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් සහ දීමනාවලට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඊයේ යොමු කර තිබූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසා සිටියේ, අධිකරණ සේවයේ පවතින වැටුප් තල සලකා බලා අභියානාධිකරණ විනිසුරු වැටුප් තල හා සමානව මෙම වැටුප් යෝජනා කළ බවයි.
මෙම වැටුප් පරිමාණය තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නා.
තනතුරෙහි ගෞරවය සුරැකෙන පරිදි මෙම වැටුප් පරිමාණය ඉහළ තලයකට ගෙන ඒමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, එම්. ඒ. සුමන්තිරන්, වජිර අබේවර්ධන, නිමල් ලාන්සා, කාවින්ද ජයවර්ධන,මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, මේජර් ප්‍රදීප් උදුගොඩ, සහන් ප්‍රදීප් විතාන, මධුර විතානගේ යන මහත්ම මහත්මීන් මෙම කාරක සභාවට සහභාගී විය.

