ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇත්තේ තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසයි.

පසුගිය 13වන දා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනයේ තරඟ පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් විශාල වශයෙන මුදල් ආයෝජනය කළ බව සඳහන් වුණා.

ප්‍රමෝද්‍යගේ මාධ්‍ය නිවේදනයට අනුව රට පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ වන බව ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දී ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

නොවැම්බර් 22වන දා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කැඳවා තිබෙනවා.

COMMENTS