ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව විදුලිය ලබා දීමේ ඇති අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානම් බව වාර්තා වෙනවා.

දිගුකාලීන ජනන සැළසුම්වල කොටසක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සුරක්ෂිතව භාවිත කිරීමට යොමුවීම සම්බන්ධයෙන් රජය බලාපොරොත්තුවයි.

න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අභිලාෂ (EOIs) කැඳවනු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ‘එක්ස්’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

න්‍යෂ්ටික බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් ව්‍යුහගත කිරීමට හා එය ආරක්ෂිතව භාවිත කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා වූ බව ඇමතිවරයා සඳහන් කළා.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 17 වන දා කොළඹ දී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ නිලධාරින් හමුවීමෙන් අනතුරුවයි.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් 2032 වන විට මෙරට ස්ථාපිත කිරීම සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා එහි දී සඳහන් කර තිබෙනවා.

කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ප්‍රවාහන කටයුතු ඇතුළු රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙන බවත්, එම වැඩසටහන් සඳහා න්‍යෂ්ටික විදුලි සැපයුම ඉතා යෝග්‍ය බවත් ඔහු එහිදී පැහැදිලි කළ බව වාර්තා වෙනවා.

ඒ අනුව විදුලි බල අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස මෙගාවොට් 400ක පමණ බලශක්තියක් ජනිත කෙරෙන පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණබලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබා ගැනීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව, පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම බව ද ඔහු ප්‍රකාශ කළා.