ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි.

යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු යාපනයේ තිදෙනකු පසුගිය දින කිහිපය තුළ ඩෙංගු රෝගය වැළදී ජීවිතක්ෂයට පත්විය.

ඩෙංගු මදුරුවා මිනිස් සිරුරට දෂ්ට කිරීමෙන් දින 4ත් 10ක් තුළ ඩෙංගු රෝගය වැළඳේ.

එහි රෝග ලක්ෂණ වන්නේ අධික උණ, හිසරදය, ඇස් ආශ්‍රිත වේදනාව, වමනය, ග්‍රන්ථි ඉදිමීම, මස්පිඩු වේදනාව සහ සන්ධි වේදනාව‍යි.

ඩෙංගු රෝගියෙකු දරුණු තත්ත්වයට පත්වූ විට, එනම් රක්තපාත තත්ත්වයේදී සිරුරට ඇතිවන්නේ අසාමාන්‍ය වේදනාවකි.

අඛණ්ඩව ඔක්කාරය පැවතීම, ලේ වමනය මෙන්ම අභ්‍යන්තර රුධිර වහනය සහ දැඩි ශ්වසන අපහසුතා එහිදී ඇති වේ.

මෙවැනි මාරාන්තික රෝගයකට ඔබ මුහුණ පාන්නේ ඔබගේම නොසැලකිල්ලෙන් බවට ඔබ සිතුවා ද?

මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 87,078ක් වාර්තා වී තිබේ.

ඉන් 39,543ක වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

ඒ අතරට කොළඹින් රෝගීන් 18,401ක් ගම්පහින් 16,020ක් සහ කළුතරින් රෝගීන් 5122ක් අයත් වේ.

මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වේ.

මේ වන විට ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 62ක් නම්කර ඇති අතර මේ මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 10,590ක් වාර්තා වීම බරපතළ කරුණකි.

මේ වසරේ පසුගිය 27 වනදා වනවිට ඩෙංගු රෝගී මරණ 50ක් වාර්තා වූ අතර එය ගත වූ දින දෙක තුළ 55 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ ගත වූ සතියක කාලය තුළ යාපනය රෝහලේදී මියගිය ඩෙංගු රෝගීන් තිදෙනාද සමගිනි.

එහිදී යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති 23 හැවිරිදි තරුණයෙකු, මාස 11ක් වයසැති පිරිමි දරුවෙකු සහ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලැබූ ගුණරත්නම් සුබීන් නමැති සිසුවියක් ද ඩෙංගු වැළදී ජීවිතක්ෂයට පත්විය.

COMMENTS