2024 එන TIN අංකය කුමක් ද?

2024 එන TIN අංකය කුමක් ද?

2024 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු වෙනවා.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.එම්. නෆීර් මේ බව සඳහන් කළේ විශේෂ මාධ්‍ය සාකච්ජාවක දී යි.

ඊයේ (දෙසැ. 28) වැට් සංශෝධන පනත සහ එහි බලපෑම පිළිබඳව මෙම විශේෂ මාධ්‍ය සාකච්ජාව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවත්වුණා.

ලියාපදිංචි අංකය ලබා ගැනීම සහ බදු ලිපි ගොනු විවෘත කිරීම කාරණා දෙකක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.

සියලු පුරවැසියන්ට ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ද පැවතිය යුතු බව ඔහු පැවසුවා.

බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු වන අතර, එවිට පමණක් ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වන බව කොමසාරිස්වරයා සඳහන් කළා.

ඒ.එම්. නෆීර් මහතා දැක්වූ අදහස් පහතින්,

“තනි පුද්ගලයින් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයින් 204,467ක් බදු ලියාපදිංචි වී සිට අතර, මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා. ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා. උපයන විට ගෙවන බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා. වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා. 2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මඟිනුයි.”