බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් එක්වෙමින් පවසා සිටියේ, අද සිට මෙම ඉහළ දැමීම සිදුකරන බවය.

ඔහු සඳහන් කළේ පසුගිය කාලය තුළ ඉන්ධන මිල සංශෝධන හේතුවෙන් ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟ ආනයනික භාණ්ඩවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවය.

ලිහිසි තෙල්, ටයර් සහ වාහන අමතර කොටස් ඇතුළු ප්‍රවාහන කර්මාන්තයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, නඩත්තු වියදම් වැඩි වීමත් හේතුවෙන් මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.

ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා බහාලුම් ප්‍රවාහන රථ නිසි පරිදි නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන අතර, වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ එම වියදම් ද ඉහළ ගොස් ඇති බව සනත් මංජුල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, බහාලුම් ප්‍රවාහන සේවා සඳහා අදාළ ගාස්තු අද සිට සියයට 5කින් වැඩි වනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

“පසුගිය දිනවල සිදුවූ ඉන්ධ මිල සංශෝධයන් සමඟ සමස්ථ ලෙස ඩීසල් මිල රුපියල් 25කින් පමණ ඉහළ ගියා. ඒ එක්කම ආනයනික භාණ්ඩවල මිල ඉහළ ගියා. ඒක බලපෑවා අපේ ප්‍රවාහන කර්මාන්තයට. මොකද මේ වෙනකොට අපේ වාහනවල සියලුම අමතර කොටස්, විශේෂයෙන්ම ලිහිසි තෙල්වල මිල, ටයර්වල මිල සහ අමතර කොටස්වල මිල ඉතා සීඝ්‍රලෙස ඉහළ ගිහින් තියෙනවා. මේ සියලුදේටම අමතර විශේෂයෙන්ම මේ ඉන්ධන මිල ඉහළයෑම එක්ක අපේ ප්‍රවාහන කර්මාන්තයට දැඩිව බලපාලා තියෙනවා.

ආනයන, අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පත්වාගෙන යන්න මේ ලොරි රථවල නඩත්තු සේවා කිරීම් අනිවාර්යෙන්ම පවත්වාගෙන යන්න ඕනේ. මොකද මේ වෙනකොට රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයක් එක්ක මේ වෙනකොට නඩත්තු සේවා පවා ඉහළ ගිහින් තියෙනවා. ඒ සියලු කාරණා හේතුකොට ගෙන තමයි අපි මේ මිල ගණන් වැඩිකිරීමට කටයුතු කරගෙන යන්නේ.”

COMMENTS