ජලභිතිකා මර් දනයට වසරකට වැයවන මුදල මෙන්න

ජලභිතිකා මර් දනයට වසරකට වැයවන මුදල මෙන්න

ජලභීතිකා රෝගය පාලනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 5කට අධික මුදලක් වැය කරන බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා සඳහන් කළේ, 2030 වර්ෂය වන විට මෙරට සිදුවන ජලභීතිකා මරණ ශුන්‍ය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවය.

රත්නපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

“ලංකාවේ ජලභීතිකා මරණ ප්‍රමාණය ගත්තොත් මීට දශක 5කට පෙර තිබුණ මරණ ප්‍රමාණය ඉතා ශීඝ්‍ර ලෙස පසුගිය වසර වෙද්දි අඩුවෙලා තියෙනවා. 2025 වසරේදී ලංකාවේ ජලභීතිකා මරණ 14ක් වාර්තා වෙලා තියෙනවා. මේක 2030 දී බිංදුවක් කරගන්න කිසිවෙකුත් මැරෙන්නේ නැති රටක් නිර්මාණය කරන්න තමා අපේ පරමාර්ථය. 2024 දී සමස්ත මරණ සංඛ්‍යාව 20ක්. මේ වර්සයේ මුල් කාර්තුව ඇතුළත මරණ 3ක්. රජය සාමාන්‍යයෙන් වසරකට මිලියන 800ක විතර ප්‍රමාණයක් වියදම් කරනවා. ඒ මිනිසුන් සඳහා පමණයි. සුනඛයින් සහ අනෙකුත් සතුන් සඳහා එන්නත් සඳහා රුපියල් බිලියන 2.5ක් විතර වියදම් කරනවා. ඔක්කෝම ලෙස ගත්තම ජලභීතිකාව පාලනයට රජය වාර්ෂිකව රු බිලියන 5ක විතර මුදලක් වැය කරනවා.”

මෙරට සුනඛ ගහනය මිලියන 2.7ක් පමණ වන බව ද ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.

“ලංකාවේ ජලභීතිකා මරණ එක්ක බැලුවහම 99%ක්ම සුනඛ සපා කෑම්. සෑම මිනිසුන් 8කටම සුනඛයෙක් ඉන්නවා කියන එක අපි දැනට භාවිත කරනවා ගණන් හදාගන්න. නමුත් මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ජන කණ්ඩායම් අනුව වෙනස් වෙනවා. මේක සමහර වෙලාවට වෙනස් වෙනවා. අපි අනුමාන කරන සුනඛ ගහනය තමා මිලියන 2.7ක සුනඛ ගහනයක් ඉන්නවා කියන එක.”

COMMENTS