ඖෂධ මිල ගණන් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග ඖෂධ මිල ගණන් ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.
ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය මුලික කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්ය.
ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ට අදාළ මිල ගණන් ද ඉහළ දැමීම සිදුකිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.
ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වු ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,
“ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වීම නිසා සියලුම දේවල්වල අපි දන්නවා මිල වැඩිවීමක් සිදුවෙනවා. ඒ අනුව ඖෂධ මිලත් වැඩිවීමක් මේ තුළ සිදුවීමට පුළුවන්. මේ පිළිබඳව අධ්‍යයනය කරමින් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. අපේ තියෙන්නේ වැඩිපුර ආනයනය කරන ඖෂධ. සියලුම ඖෂධවල මිල වැඩිවෙන්නේ නෑ. නමුත් සමහර ඖෂධවල මිල වැඩිවීමක් සිද්ධවෙනවා.”

