ගිනිබත් වූ සෙනහසේ කැදැල්ල ජිවිත 11 බිලි ගනී

ගිනිබත් වූ සෙනහසේ කැදැල්ල ජිවිත 11 බිලි ගනී

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

එහිදි තුවාල ලැබු 7දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර තිබේ.

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබුණි.

ගිනිනිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් එම මධ්‍යස්ථානයට විශාල හානි සිදුව ඇති බව වාර්තා වේ.

ගින්න ඇති වන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්ය.

පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති එම මධ්‍යස්ථානය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් ද සිට ඇති බව වාර්තා වේ.

ගින්න හේතුවෙන් එම මධ්‍යස්ථානයේ සිටි පිරිසක් පිළිස්සීමට ලක්ව ඇති අතර එලෙස පිලිස්සුණු පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලීසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.

COMMENTS