වංචනික පෙම්වතුන්ගෙන් ආරක්ෂා වෙන්න පොලීසියෙන් විශේෂ උපදෙස් මාලාවක්

වංචනික පෙම්වතුන් සහ ආගන්තුකයින්ගෙන් ආරක්ෂා වීම සඳහා පොලීසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ කාන්තාවන් මුලා කර ලිංගික අපයෝජනයට ලක් කිරීම මෙන්ම දේපළ පැහැර ගැනීමේ සිදුවීම්ද වාර්තා වී ඇති බවයි.
පසුගිය කාලය තුළ, විවිධ ආහාර වර්ග හා බීම වර්ග පානය කිරීමට සලස්වා සිහිසුන් කර කාන්තාවන්ගේ දේපළ සොරකම් කිරීම මෙන්ම විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී මුදල් හා දේපළ ගෙන මනුෂ්‍ය ඝාතනයන්ගෙන් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි.
ඒ අනුව දිවයිනේ සියළුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් හරහා අවධානමට ලක්විය හැකි පිරිස් පිළිබඳව තොරතුරු එක්රැස් කර ගනිමින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ වන විටත් සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
පොලිසිය දැනුම් දෙන්නේ, වංචනික පෙම්වතුන් සහ ආගන්තුකයින්ගෙන් ආරක්ෂා විම සඳහා පහත කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි.
නාඳුනන පුද්ගලයින්, අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමග කටයුතු කිරීමේදී ඔවුන් පිළිබඳ විශ්වාසය තබා මුදල්, ස්වර්ණාභරණ හෝ වෙනත් වටිනා දේපළ ලබා නොදෙන ලෙසත් සංවේදී ඡායාරූප හා වීඩියෝ නාඳුනන සහ සැක සහිත පුද්ගලයින් වෙත කිසි විටක ලබා නොදෙන ලෙසත් පොලිසිය දැනුම් දෙයි.
පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනය හෝ වෙනත් පුද්ගලික තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා නොදෙන ලෙසයි.
සැකසහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් යම් ගනුදෙනුවකට හෝ හමුවීමකට කරනු ලබන ආරාධනා ප්‍රතික්ෂේප කරන ලෙසද පොලිසිය දැනුම් දේ.
ඔබ හෝ ඔබ දන්නා අයෙකු එවැනි අයුරින් අපයෝජනයට හෝ වංචාවකට ලක්ව ඇත්නම් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙසද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
118, 119, 107, 109 අංක හරහා ද ඔබට කඩිනමින් පොලිසිය දැනුවත් කිරීමට හැකියි.
එවැනි වංචනිකයන්ගේ රැවටීම්වලට හා උගුල්වලට හසු නොවී, ඔබේ ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

